Skip to main content

මගේ මතකේ රැදුන නත්තල්

 🎄නත්තල්🎅

බෞද්ධ මාත් නත්තල් කියන වචනෙට මාර ආසයි. මන් පොඩි කාලෙ මගෙ නත්තල් මතක ගොඩක් තියෙනවා. ඒ අතරින් මගෙ හොදම මතකෙ තමා නත්තල එනවා කියල කියන සීතල හුළග. ලංකාවෙ ඉන්න අපිට ඉතින් නත්තල් හිම කියන්නෙ නම් හීනයක්නෙ. ඒත් සීතල හුළග නම් මට අවුරුද්දෙ ඕනම කාලෙක මතක් කර කර විදින්න පුලුවන්. නත්තලත් එක්ක මට තියෙන්නෙ සුපිරි මතකයන් කිව්වොත් හරි. මොකද අපේ ගෙදර එකා යකා වෙච්චි මට නත්තල කියන්නෙ ඉතින් තෑගි ගොඩක් හම්බෙන දවසක්..කිතුණු යාලුවොන්ට ඒක සාමාන්‍ය වුණාට බෞද්ධ හැමෝටම එහෙම නත්තල විශේෂ නෑනේ.😉

කොහොමහරි මං චූටි කාලෙ ඉදන්ම නත්තල් දවසට ලෑස්ති වෙන්නෙ දෙසැම්බර් මාසෙ පටන් ගන්නවත් එක්කමයි..පුදුම රාජකාරි ගොඩක් තිබ්බෙ ඒ කාලෙ ඉදන්ම😋


📽ෆිල්ම් බැලීම.


"සීතල දෙසැම්බරේ සිරස ටීවි එකෙ පෙන්නන ළමා චිත්‍රපට නරඹා පුංචි යාලුවොත් තෑගි දිනාගන්න"▲


එහෙම තමා සිරසේ කතා කරන ඇන්ටි ෆිල්ම් බලන්න එන්න කියල අපිට කිව්වෙ..ඒ තාලෙට තාමත් ඒ වාක්‍ය කියන්න පුලුවන්. ඉතින් කෝම හරි ඒ කාලෙ ඔය හඩකවපු ළමා චිත්‍රපට බලන එක තම නත්තල් කාලෙ මගෙ ප්‍රමුඛ රාජකාරිය. නත්තල් දවසෙ උදේ ඉදන් ටී.වී එක ඉස්සරහ ඉදගෙන නත්තල් දේව මෙහෙය බලලා, ඊළගට යන හින්දි ෆිල්ම් එකත් බලන එක තමා නත්තල් දවසෙ කාර්‍ය භාර්‍ය වෙන්නෙ. නත්තලට පස්සෙ එන වැදගත් දවස තම දෙසැම්බර් 31.එදා රෑත් අනිවාරෙන්ම හින්දි ෆිල්ම් එකක් බලනවා..මගෙ අතීත මතකවල නශ්ටාවශේශ අතර දෙසැම්බර් 25 හා 31 බලපු  මුල්ම හින්දි ෆිල්ම් ලෙස සළකුණු වෙන්නෙ "ANJANA ANJANI" හා "MAIN HOON NA" කියන ෆිල්ම් දෙක.. හැබැයි කොයි එක නත්තල් දවසෙ බැලුවද, 31 රෑ බැලුවද කියලනම් පැහැදිළි මතකයක් නෑ. හැබැයි උපසිරැසි කියවන්න පුලුවන් කාලෙ ඉදන්ම බලපු හින්දි ෆිල්ම් වලට පින්සිද්ද වෙන්නයි..තේරෙන කලෙ ඉදන්ම අම්මි කියවන්න කියල ගෙනත් දීපු පොත් වල පින් සිද්ද වෙන්නයි, මගෙ කියවීමෙ වේගයනම් අති විශිෂ්ටයි. ඉතින් අද වෙනකනුත් හින්දි ෆිල්ම් කියන්නෙ මගේ පරණ තදට තිබ්බ ආදරයක්.❤





හින්දි ෆිල්ම් රසිකයෙක් වීමේ මුල් පියවර 


🧧නත්තල් තෑග්ග.


මං පොඩි කාලේ මට මතක ඇති කාලෙක ඉදන් නත්තල් රෑ අපේ ගෙදරට නත්තල් සීයා අනිවාරෙන්ම ආවා. ඒක මට අදටත් සීයට සීයක් ශුවර්. මොකද නත්තල් දවසෙ උදේ මං නැගිටිද්දි මගේ ඇදේ, කොට්ටෙ යට අනිවාරෙන්ම නත්තල් තෑග්ගක් තියෙනවමයි. ඉතින් මං නත්තල් දවසෙ උදෙන්ම නැගිටින්නෙ ඔය තෑග්ග බලාගෙනමයි. ඒ කාලෙ මට කැමරාවක් එක්ක ජංගම දුරකථනයක්වත් තිබ්බනම් ඒ තෑගි වල photos ගන්න තිබ්බා. කොහෙද ඉතින්..........😕

මගෙ මතකයන් වල මුල්ම නත්තල් තෑගි වුණේ ලේන්සු, කොණ්ඩෙට දාන වූල් බෑන්ඩ්ස්, ලස්සන ලස්සන ගැජට් තිබුණු කොණ්ඩ කටු, අරුම පුදුම පැන්සල් වගේ දේවල්. මං ඉස්කෝලේ යන්න පටන් ගත්තු දවසෙ ඉදන් නත්තලට හම්බුණේ කෑම පෙට්ටි, වතුර බෝතල්, පැන්සල් පෙට්ටි වගේ දේවල්..ම්ම්ම්ම්.. තව ඒ වෙනකොට අලුත් පංතියට යන්න ඕන පොත්, බෑග්, සපත්තු එහෙම අරගෙන නම් ගන්න අමතක වෙච්චි චූටි චූටි දේවල්. එ කාලෙ මට මාර ප්‍රශ්නයක් තිබ්බා, නත්තල් සීයා මට නැති දේවල් දන්නෙ කොහොමද? ඉතිං..පුදුමයක් නෑ..මටනම් නත්තල් සීය වැඩ්ඩෙක්ම තමයි...👌😊

අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්නවා මගෙ වයසෙම ගෑණු ළමයෙක්..නත්තල් දවසය එය අපේ ගෙදර ආව. මට ඉතින් මාර හැපී..නත්තල් සීය මට දුන්නු තෑගි පෙන්නුවහැකිනේ..මට ශුවර් නත්තල් සීයා එයලගෙ ගෙදරටනම් යන් නෑ..යන්නත් එපා..ඒ කාලෙ හිතුනෙ එහෙම..අවුල් තමා ඒත් එකා යකා පොඩ්ඩක් සෙල්ෆිශ් නේ..ගණන් ගන්න එපා අනේ. ඉතින් කොහොම හරි මං එයාට මට හම්බුණු තෑග්ග පෙන්නුවා ආඩම්බරෙන්..ඒ ළමය එක පාරටම කිව්වා නත්තල් සීය කියල කෙනෙක් නෑ ඔයලගේ අම්මිලා ඔයාව රවටනවා කියලා..අවුරුදු 5-6 හිටපු මට මේ කතාවට නම් රතු කට්ට පැන්න..අත දිග ඇරිය විතරයි මතක..කොහෙට වැදුනද කියන්නනම් දන් නෑ..ඒ ළමයා අඩාගෙන ගෙදර දිව්වා..ආව මෙතන නත්තල් ගැන මට උගන්නන්න...😡

අවුරුදු 8-9 වෙනකොට ඉස්කෝලෙ ගිහින්, ටී වී බලල එහෙම මට තේරුණා මෙතන වෙන්නෙ මොකද්ද කියලා. සමාජෙත් එක්ක මං පරිණත වුණා..ඒත් හිත කිව්වෙම පිළිගන්න එපා කියල..මොලේ කිව්වෙම අම්මිලා තමා කොට්ටෙ යටින් තෑගි තිබ්බෙ කියලා. කොහොම හරි අවුරුද්දටම එක දවසක් වෙන මේ හිත රවට්‍ට ගැනීමට මං අදටත් ලෝබයි. මං ඉතින් ඒ දවස් වල කරපු දේ තමා නත්තල් දවසට කලින් දවසේ අල්මාරි, කබඩ්, පෙට්ටි හැම දේම ඇදලා අම්මිලා මේක කොහෙද හැංගලා තියෙන්නෙ කියලා පණ දාගෙන හොයනවා..එත් අදටත් මට හිතගන්න බෑ..මට කිසිම දවස හංගපු තැනකින් ඒවා හම්බෙලා නෑ. මං ගාව නත්තලට හම්බුනු තෑගි සමහර ඒවා තවමත් තියෙනවා. මට අවු.10 දී නත්තලට හම්බුණු බෝනික්කට මං තාමත් ආදරෙයි. එදායින් පස්සෙ මං තව දෙයක් තේරුම් ගත්තා..නත්තල ලං කරලා මං ඉල්ලන දෙයක් මට තෑග්ගට ලැබෙනවා..ඉතින් අවු.16 ක් වෙනකන් මං දෙසැම්බර් පටන් ගත්ත දවසෙ ඉදන් මං කැමතිම දෙයක් ගැන කියවනවා. 25 වෙනිදට ඒක කොට්ටෙ යට. හිත එකක් කියද්දි මොලේ තව දෙයක් කියද්දි හිත කියන දේ විශ්වස කරපු ආදරණීයම මතක තමා එ නත්තල් තෑගි.😍   


පොඩි කාලේ හම්බුණු  තෑගි වලින් දැනට තියෙන එකම තෑග්ග 

🌄නත්තලත් එක්ක ස්වභාවික විපත්.


කන්ද උඩරට රාජධානියේ අභිමානවත් මිනිස් පරපුරට වැස්සත් එක්ක තියෙන සුලබම ගැටලුවක් තමා නාය යාම්. ඉතින් මට අවුරුද්ද මොකද්ද කියලනම් මතක නෑ. කොහොම හරි නත්තල් දවසක උදේම කෝල් එකක් ආවා..අපෙ ගෙවල් වලට ටිකක් එහායින් තියෙන ගෙදරකට පිටිපස්සෙ තිබුණු  ගලක් ඇතුල් වෙලා කියල. ඉතින් මමත් අම්මිලා එක්ක ගියා ස්වේච්ඡාවෙන්ම තත්ත්වය ඇස් දෙකෙන්ම බලා ගන්න. හ්ම්ම්ම් තත්ත්වය දරුණුයි. ගෙදර සාලෙ බිත්තියක්ම නෑ එකම මඩ ගොඩක්. අපේ පැත්තෙ විදුලියත් නැති කරලා ඒ සිද්ධිය නිසා. නත්තලේ මගේ සතුට නැති වෙලා ගියා. ෆිල්ම් බලන්නත් නෑ. හරිම දුක්ඛිත මතකයක් ඒක.


🎉නත්තල් කැරොල්.


මගෙ ඉස්කෝලේ ඉතින් ඉස්සර කන්‍යාරාමයක්නේ. අපේ ඉස්කෝලෙ ඇතුලේ කිතුණු පල්ලියකුත් තියෙනවා.මුලු ඉස්කෝලෙම අස්සක් මුල්ලක් මග නොඇරුණු මට ඉස්කෝලෙ හිටපු ඒ අවුරුදු 8 ටම යන්න බැරිවුණු තැනක් තියෙනවනම්, ඒ අපේ පල්ලිය. අදටත් යන්නම ආසාවෙන් ඉන්න තැනක්. මං gate duty කරන දවස් වල උදේට පල්ලියේ සිස්ටර් හම්බෙනවා.මං ඉතින් අනිවාරෙන්ම good morning කියනවා. ඒ කාලෙ මට දෙයක් ,තැනක් ගැන කුතුහලේ නම් මං කොහොම හරි ඒ දේ,තැන ගැන හොයනවා, හොරෙන් හරි ගිහින් බලනවා. ඒත් මට තාමත් හිතා ගන්න බැරි මං පල්ලියට ගියේ නැත්තෙ ඇයි කියලා, සමහරවිට ඒ මං හොරෙන් ගියොත් ඒක වැරැද්දක් වෙයි කියලා බයක් එහෙම නැත්තන් අගෞරවයක් වෙයි කියල මට ඒ දවස්වල හිතෙන්න ඇති.කොහොම හරි උදේ හවස පල්ලිය ළග duty කරපු මං ඒ පල්ලියට ගිහින් නෑ..වෙන පල්ලියකට ගිහිනුත් නෑ ඉතින්. අල්‍තාරය දැකලා තියෙන්නෙ ටී වී එකෙන් තමයි. මං බලාපොරොත්තු වෙනවා පල්ලියට ගිහින් එහි ලස්සන බලන්න. ඉතින් කැරොල් ගැන ලියන්න නෙ ලෑස්ති වුණේ. අපේ ඉස්කෝලෙ නිවාඩු දෙන දවස කලින් දවසේ හවස නත්තල් කැරොල් උත්සවෙ අනිවාරෙන්ම මාරම ලස්සනට ඉස්කෝලේ ප්‍රධාන ශාලාවෙ පවත්වනවා. ඉතින් 2017 junior prefect කෙනෙක් වෙලා හිටපු කාලේ කැරොල් උත්සවේ ප්‍රධාන ශාලාව ඇතුලේ duty තමා මට වැටිලා තිබ්බෙ. මට ඉතින් ඊට වඩා සතුටක් නෑ.duty එකත් වෙනවා.කැරොලුත් බලනවා.මරු!😃

එදා තමා මං මුළින්ම සජීවීව කැරොල් බැලුවේ. කවදාවත් අමතක වෙන එකක් නෑ මට ඒ දවස.



 අපේ ඉස්කෝලේ කිතුනු පල්ලිය 


🎈නත්තල් සැමරුම්.


මේ ගැන හොදම මතකයක් තියෙන්නෙ 2018. මොකද කියනවනම් ඒ දවස්වල අපි Dtv media network එක පටන් ගත්තුම දවස්. ඉතින් නත්තල අර්ථවත් කරන්න සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න අපිට අවශ්‍ය වුණා. ඉතින් අපටි එදා බොක්කාවල පැත්තේ වැඩිහිටි කාන්තා නිවාසෙක හවස තේ වෙලාව අපේ අතින් කරන්න පුළුවන් කම ලැබුණා. එම ප්‍රදේශයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේත් නත්තල් දවසෙ එම නිවාසෙ අම්මලාට බණ දේශනා කරලා නත්තලට සැබෑ අරුතක් එක් කලා.  ඊට පස්සේ අපේ network එකේ අපි විවිධ විනෝද අංග ඉදිරිපත් කරලා ඒ අම්මලාව සතුටු කලා. මං හිතන්නෙ එදා ඒ නත්තල් දවසේ තමා මං අර්ථවත් විදිහට ගත කළේ.(අනිත් නත්තල් දවස් වලට මං ෆිල්ම් බැලුවා විතරනේ) dtv media network එකේ අනිත් අයටත් එහෙම දැනෙනවා ඇති. නත්තල් දවසෙ එහෙම පිනක් කරන්න ලැබෙනවා කියන්නෙ අසීමිත සතුටක්.🙈


💗නත්තල් සුබ පැතුම්.


අප්පච්චි phone එකක් අරන් දුන්නට පස්සෙ නම් ඉතින් නත්තලට whats app, facebook හැම එකකින්ම නත්ත්ලට විශ් එකක් එකතු කරනවා යාලුවොන්ට. එක්ක ඉතින් හැමෝම කරන දේනේ. ඒ උනාට මං මේ අවුරුද්දේ නත්තල් විශ් design කරේ මං.මේ දවස්වල graphic design තනියම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.මුළින්ම ඇදපු එක ටිකක් සිගිති පාටයි වගේ. හරිම වර්ණවත්. ඒ වුණාට ඒක හිතට අල්ලන් නෑ. 

ඉතින් ආයෙමත් හොදට හිතලා එකක් ඇන්දා, එකෙනම් මට අඩුපාඩු පේනවා අඩුයි. කමක් නෑ. ආරම්භය ලස්සනම වෙන්න ඕනෙ කියල එකක් නෑනේ.😂



මුළින්ම ඇදපු design එක 


දෙවෙනියට ඇදපු design එක 

 

😷කොරෝනා එක්ක නත්තල්.


නත්තලට කලින් ශොපින් ගිහින් මුලු නුවරම ඇවිදලා එන එක අපේ සතුට.කොරෝනා ඒක නැති කරා.වෙනදට වගේ නුවර මේ පාර සරසලා නෑ. එදා ගිහාම දැක්කෙ. මාස්ක් එක්ක නත්තල්.ඉතින් ගෙදරට වෙලා නත්තල් තනියම සමරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ. පරණ පුරුදු විදිහටම 😊


මේ අවුරුද්දේ නත්තලත් වෙනදා වගේම ගෙවිලා යාවි. නමුත් නත්තලේ බලාපොරොත්තු ඉශ්ට වේවි!💙


ලෝකවාසී සියලුම ජනතාවට සුබ නත්තලක් වේවා!


මම, 

KVI's area එකේ කවී.

Comments

  1. Wow!!! Good job nangooo❤️keep it up✨️✨️✨️

    ReplyDelete
  2. මට නම් සැමරුවා කියල මතක එක ම නත්තල 2000 අවුරුද්දේ නත්තල. එදා නම් අපි පොඩියට නත්තල් ගහකුත් ගෙදර හැදුවා. ඒ මම 2 වසරේ.
    දෙසැම්බර් නිවාඩුව කියන්නේ අපිට නම් සරුංගල් මාසේ නේ. ආය ඉතිං නත්තල් දවස කියල නැහැ උදේ කාලා ගෙදරින් එලියට බැස්සම ආපහු ගෙදර එන්නේ කෙලින්ම මද්දහනේ නාලා කාලා යන්ට. ආය එන්නේ හවස 6 වෙද්දී. 2004 නත්තල් දා ට පහුවදා ඔහොම කාලා ඉද්දි කට්ටිය ආවා වත්තේ උඩහට සරුංගලයක් ආවා බලන්ට යමු කියල. ගියා ඉතිං කටු පඳුරු අනංමනං අස්සෙන්. සරුංගලේ තිබ්බා ගහක් මුදුනේ.
    ඒක ගන්න අදහස අතෑරලා ගෙදර එද්දී මුළු පවුලම ටී වී එක ඉස්සරහ. බලද්දී මුහුද ගොඩ ගලලා. ඒ තමා අමතක නොවෙන නත්තල් නිවාඩුව.
    මමත් ගියේ (තවමත් යන්නේ) ක්‍රිස්තියානි ඉස්කෝලෙකට නේ. මට නම් කතෝලික යාලුවොත් ඉන්නවා. එයින් එක්කෙනෙක් දවසක මාව පල්ලියට එක්කරන් ගිහිං ඔක්කොම ටික කියල දුන්නා. අපේ පල්ලිය විශේෂයි. ඔය ආකෘතියට හදපු ලෝකේ එකම පල්ලිය. ඉතිං මම නම් අපේ පල්ලියට පොඩි කාලේ ඉඳන් ගිහිං තියනවා.
    නත්තල් ගැන නම් ඔච්චර තමා මතක තියන්නේ. තවත් ඇති. ඒ ඔක්කොම ලියන්ට ගියොත් මෙතන පෝස්ට් එකක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. නත්තල් කියන්නේ සුන්දර මතකයක්. බොහොම ස්තුතියි මේ ප්‍රතිචාරයට.

      Delete
  3. ඔය උඩ ඉන්න අඟහරුවා තමයි පාර කිව්වෙ. මාත් ආව එහෙනං. දිගටම කියවන්න එන්නං.

    මාත් යමක් ලිව්ව නත්තල ගැන කැමති නං ඇවිත් කියවලා බලන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ ප්‍රතිචාරයට.අනිවාර්යෙන්ම ඒ පොස්ට් එක කියවන්නම්.

      Delete
  4. 👌👌Keep It Up Akki😘🤙😍

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බලන්නම ඕන ෆිල්ම් එකක් - INSANE

  INSANE  සමහර වෙලාවට චිත්‍රපටයක් බලන්නේ කම්මැලිකමට, එහෙමත් නැත්තන් වෙන කරන්නම වැඩක් නැති කමට. කොහොම උනත් චිත්‍රපට පිලිබදව එකිනෙකාගේ රුචිකත්වය වෙනස්. නමුත් දෙයියනේ කියල මේ සටහන ලියන මටනම් ඕනෑම වර්ගයක චිත්‍රපටයක් බලන්න පුළුවන්. මගේ මුල්ම පොස්ට් එක විදිහට මන් ලියන්න යන්නේ මන් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටයක් ගැන. චිත්‍රපටය බලන අතරතුර මට හිතුනේ 'මම මේ ෆිල්ම් එක බලන්න සැහෙන්න පරක්කු වෙලා නේද' කියලා. මොකද මම මේ කියන්න යන චිත්‍රපටය විකාශනය කරල තියෙන්නේ 2016 අවුරුද්දේ අප්‍රේල් හත් වැනිදා. ඔව්,මම බැලුවේ 2020 අවුරුද්දේ . වැඩි අටුවා ටීකා  නැතුවම මම චිත්‍රපටයේ සාරාංශයක් ඔබ වෙත ගෙන එන්නම්. චිත්‍රපටයේ නම - INSANE ප්‍රභේධය    - අභිරහස්, මනෝවිද්‍යාත්මක සහ ක්‍රියාදාම  වර්ගය -  දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්‍ෂනය - ලී චෙඔල් හා   කාලය - පැය 1යි මිනිත්තු 31යි  භාෂාව - කොරියන්  අදායම් වාර්ථාව - ඇමරිකන් ඩොලර් මිලියන 6.7 අන්තර්ගතය - කිසිදු හේතුවක් නොදන්නා කැන්ග් සෝ හා නමැති තරුණිය මනෝ චිකිත්සක රෝහලක සිර කර තබා ඇති අතර, එහිදී ඇය එම ස්ථානයේ බිත්ති වලට කොටුවි ඇති කරදරකාරී , භයානක, ජුගුප්සාජනක සිදුවීම්

අකලට පිපුණු රතුරෝස

                                                           අකලට පිපුණු රතුරෝස හිත වටකර බැදි වැට මැද කිණිහිරියා මල් පිපුණා.. සැදෑ අදුරට පෙම් කල ඇගෙ සිත කදෝපැණියෙකු දෙසට ඇදුණා.. දුටුව ලෝකය, නොදුටු සක්වල මහමෙරක් ලෙස හිතට දැණුනා.. සිව්කොණින් ඇවිලෙනා ගිනි දළු  ප්‍රේමයට පෙරවදන ලිව්වා.. අකලට වැටෙනා සහසක් වැසි මැද  හිතට හොරා හිත මුරණ්ඩු වෙනවිට නටුව අග තිබුණ කටු දෙනයනට දැක දැකම රැකපු රතු රෝස මලෙ පෙති නොහැළුනේ මන්ද? නිශායාමේ ලකල් සද දිය මත වැටෙන සෙවණැලි ගතු කියන විට කෝඩුකාර හිතෙ නොඉඳුල් ආලය කල වරද නොතේරෙන කල මරාදමනු හැකි වේද - උපන් ගෙයි ඇතුළේම සම්මතය - අසම්මතය වාසිය කොයිබටද? ආලයක් ඇතිවෙන්න ඇසිල්ලක්, ඇති නොවෙද? මම  KVI's area  එකේ   කවි.